පාරාදීසයක් කිව්වම මොනවද ඔයාගේ ඔලුවට මුලින්ම ආවේ?. මට නම් බලපු ෆිල්ම් කිහිපයක් තමයි මතක් වෙන්නේ. දිය ඇලි ගංගා වලින් පිරුණු, කෑම බීම ඇති වෙන්න තියෙන,ගහ කොල සතුන් පිරුණු, මිනිසුන්ත බෙදා හදා ගෙන සතුටින් ජීවත් වෙන භූමියක් පාරාදීසයක් කියල මම හදුන්වනවා.
විශේෂයෙන්ම පාරාදීසයක වුනත් මිනිසුන් ජීවත් වෙනවා නම්, ඇත්තටම ඒක පාරාදීසයක්ම වෙන්නේ මිනිසුන්ගේ ආකල්ප එක්ක. මොකද අපේ මේ ලස්සන ලෝකය ඇත්තටම පාරාදීසයක් විදිහට තමයි බිහි වුනේ. හැම සතෙකුටම ජීවත් වෙන්න කෑම බීම තිබ්බා, ගංගා ඇළ දොළ, නිදහසේ හැසිරෙන්න සැරිසරන්න පුලුවන් විදිහට තමයි ලෝකය නිර්මාණය වුනේ. දැන් සතෙක්ට නිදහසේ යන්න එන්න පුලුවන්ද? සතෙක්ට තියා අපිටවත්? සතෙක් නම් අල්ලලා කූඩු කරනවා, නැත්නම් මරාගෙන කනවා. කැලේ ඉන්න සත්තු ටික යාන්තම් බේරිලා ඉන්නවා තාම. ඒත් ඉතින් මිනිසාගේ දියුණුවයි, ලෝක ජනගහනයේ වැඩි වීමයි එක්ක අනාගතයේ කැළෑවක් ඉතුරු වෙයි කියල හිතන්න අමාරුයි. මොකද දැන් හදේ ඉඩම් විකුණනවා පදිංචියට. සල්ලි තියෙනවම් අරන් දාන්න. අපි දැන් වතුර බොන්නෙත් සල්ලි වලට, පුරාතන අපේ මුතුන් මිත්තෝ දැන ගත්තොත් මොනව හිතෙයිද? ඉස්සරහට පපුව ඇතුලට ගන්න හුස්ම ටිකත් සල්ලි දීල ගන්න ලෑස්ති වෙන්න වෙයි. විහිලු වගේ හිතුනට දැනටම ලෝකේ එහෙම වෙනවා. මොකද යසට තිබ්බ ඔක්සිජන් ටිකත් දැන් දූෂණය කරගෙන ගිහින් තියෙන්නේ මිනිසුන්ගෙම වැඩ නිසා තමයි. ඒ වෙලාවට තමයි මට හිතෙන්නේ සතෙක් වුනා නම් කියල, ඇයි එතකොට පරිසරයට හානියකුත් නැහැ ජීවත් වෙන්න අමාරුත් නැහැ. මට මතක් වෙනවා රතු ඉන්දියානු ගෝතික නායකයෙක් කිව්ව කතාවක් "අවසාන ගසත් මිය ගිය පසු, අවසාන ගංගාවත් සිදී ගිය පසු,අවසාන මත්ස්‍යාත් අල්ලා ගත් පසු, මිනිසා අවබෝධ කර ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව"
ගෝතික නායකයා සල්ලි කාරයෙක් නෙවෙයි, අපි වගේ පාසල් ගිහින් ඉගෙනගෙනත් නැහැ හැබැයි හොද පරිසර අවබෝධයකින්, පරිසරයට අවනතව ජීවත් වෙච්ච මනුස්සයෙක්, මතකම තියාගන්න සල්ලි , අධ්‍යාපන මට්ටම් , උස් මිටි , ඇති වගේ අද ලෝකය අවුල් කරපු හැම දේම හැදුවෙ මිනිස්සු.. අද ලෝකේ ඉතින් සාර්ථක වෙනවා කියන්නේ සල්ලි, ලොකු තනතුරු වගේ දේවල්නේ. මේ ලිපිය කියවන ඔයා අද කල්පනා කරල බලන්න සාර්ථකත්වය කියල දෙයක් එහෛම මනින්න බෑ නේද? මම නම් කෙනෙක් සාර්ථකයි කියන්නේ ඔහු හෝ ඇයගේ අධ්‍යාත්මික , මානසික තත්වය එක්ක. මේ ලෝකේ හැම දේම ඇති වෙන නැති වෙන සංකල්පයට යටත්. අලුත් ජීවීන් ඇති වෙනවා, ඉන්න ජීවීන් වද වෙලා නැති වෙනවා, අලුත් ලෙඩ රෝග නිර්මාණය වෙනවා, තියෙන ලෙඩ නැති වෙනවා, හැම දෙයක්ම ඔන්න ඔහොම තමයි සිද්ධ වෙන්නේ. අපිත් ඒ පද්ධතියෙම කොටසක් විතරයි. අපි බුද්ධිමත් කිවුවට ඒකත් එක පාරම වුනේ නැහැ කියලා ඔයාල දන්නවා, වානරයගේ ඉදල පරිණාමය වෙලා ටික ටික තමයි අපි දියුණු වුනේ. ඒකත් මම අර කලින් කිව්වා වගේම වෙච්ච අහඹු සිදුවීමක්. තව අවුරුදු සිය දහස් ගානකින් ඉස්සරහ බිහිවන මිනිස්සු දැන් අපිට වඩා ගොඩක් බුද්ධිමත් වේවි! එහෙම නැත්නම් වද වෙලා යාවි. ඒකවත් අපිට හරියට කියන්න බෑ. ඉතින් මේ විදිහට අපි භාෂා හදාගෙන සන්නිවේදනය කරනවා, අලුත් දේවල් හොයා ගෙන කියල කියනවා. විද්‍යාව හරි දියුණුයි කියනවා. ඇත්තටම වෙන්නේ ලෝකේ මිනිස්සු අවබෝධ නොකරපු දෙයක් අපි අපේ ඇස් කන් නාස දිව සම වගේ දේවල් වලට ගහනය කිරීමක් විතරයි. උදා විදිහට තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය හොයා ගත්ත, ඇත්තම කිව්වොත් අවබෝධ කළා. ඒ කාලේ මේ ලෝකේ ආලෝකය තිබ්බේ නැද්ද? විදුලිය තිබ්බේ නැද්ද? තිබ්බා හැබැයි මනුස්ස අපි ඒවායේ හැසිරීම දැනගෙන හිටියේ නෑ. ඒ වගේ අපේ මේ අවයව වලට අහු නොවන බොහෝ සංකල්ප අනන්ත පුමාණයක් මේ ලෝකේ තියනෙවා. එම සංකල්ප පවා ඇති වෙමින් නැති වෙමින් විකාශනය වෙමින් වෙනස් වෙමින් පවතිනවා. ආහ් මම කතාව පටන් ගත්තේ පාරාදීසක් ගැන කියල නේද? ඔව් මේ පාරාදීසේ නිර්මාණය වුනේ කොහොමද කියල තමයි මම පැහැදිලි කරන්න උත්සහ කලේ. ඉතින් අපිට පාලනය කරන්න බැරි මේ පාරාදීසේ කොටසක් වෙච්ච අපි සොබාදහම අවබෝධ කරගෙන ජීවත් වෙන්න ඕන කියල මට නම් හිතෙන්නේ. හැමෝම සතුටින් ඉන්න! නැවත මුණගැහෙමු!